ඔරුවේ අවර උඩ වසා සිටි රෑනකාවෙකු වැව් දියට සමාන්තරව පියඹා ගොස් ඉහලට නැගුනේ ගුවන් යානයක් ගුවන් ගත කරන්නාක් මෙනි. බන්දු ඇනියට අතගසා වියලෙන් අල්ලා ඔරුව වතුරට තල්ලු කළේ බණ්ඩාරගේ ද සහය අතිවය.
"මොකද බන්දු දාහට අරන් සීයට දුන්නා වගෙ "
බණ්ඩාර උපහාසාත්මකව කීවද එහි යම් බැරෑරුම් ගතියක් නොතිබුණාම් නොවේ. ජීවිතේ මහමෙරක් බර කරට අරන් තිබුණු බන්දුට ඊට එකතු වූ වැලි කැටයක බර පවා දනුනේ දුක විතරක් එකතු වෙච්ච හදවතේ සියුම්ම කුටීරයටය.
"නෑ බන් බණ්ඩාරේ........අප්පච්චිගෙ දානේ අනිද්දා.......හෙට පෝය"
වාරකන් සුළගට නැගුණු රළ සමග පොර බදන තණ්ඩු හබලේ කෙදිරිය අතරින් බන්දු වචන ගැට ගැසුවේ මින්නේරි වැවේ හීතලෙන් හිත ගිනි ගනිද්දීය.
'අපි හැන්දෑවට දැල් පාඩු දෙක තුනක් ගහමු"
බණ්ඩාර කීවේ බලාපොරොත්තුවක් බන්දුගේ සිතෙහි ඇතිකරවන අටියෙනි.
බන්දුගේ මවට තම සැමියාගේ දානය ටිකක් ලොකුවට දීමේ දැඩි ආශාවක් තිබුණද...., ඇය ගඩොල් වාඩියේ වැඩට නොගිහින් දැනට මාස හයක් පමණ ගත වූවා ය. රමණී එනම් බන්දුගේ අක්කා බින්ගිරිය විද්‍යා පීඨයේ අවසන් වසරේ පුහුණුව ලබමින් සිටි අතර ගෙදර බඩ පිස්සිය වූ හින්නි හෙවත් කුමුදු මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට සුදානම් වෙමින් සිටියා ය.
බන්දුට එදින සොයා ගත හැකි වූයේ රුපියල් පන්සිය විසි පහක් පමණි. ඔහු හදිසියකදී ගැනීමට සගවා තිබුණු රුපියල් එක්දහස් දෙසීයක් සමග රුපියල් එක්දහස් හත්සිය විසිපහක් හින්නිගේ අත තැබුවේ අප්පච්චිගේ දානයට අවැසි අඩුම කුඩුම ගෙන ඒමටය.
කොළොන් ගස් අතරින් පායා එන නිකිණි සඳ දිහා බලාගෙන සිටි බන්දුට කටු මැටි ගෙයි එළිපෙත්ත උඩම යන්තමට දෙනෙත් පියවී තිබුණි.
"ලොකූ.... පන්සල් එන්නේ නැද්ද ? "

"ඇගට ටිකක් අමාරුයි..... අම්මා ගිහින් එන්න "
බන්දු යන්තමට පියවී තිබූ දෙනෙත් හැර බොඳවී තිබුණු නිකිණි සඳ එක්තැන් කළා ය.
" පාණාතිපාතා වේරම්ණී සික්ඛාපදං සමාදියාමි"
පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ හඩ කොහොඹ ගසේ බැඳ තිබුණු පීකරයෙන් හොදට ඇසුනේ වාරකන් සුළඟ නිසාවෙන් යැයි බන්දුට සිතුනේය. උලලේනුන්ගේ මූසල හඩ නතර වෙත්ම තනිවුන මුව දෙනකගේ මත් රාවය අතරින් බන්දුගේ දෑත මින්නේරි වැව් දිය මත වැදුනේ මහා සිනමාකරුවෙකුට පසුබිම් සන්ගීතයක් මවාලන්නට නොව ජීවිත අන්දරය ගැටගහගන්නටය, හෙට දානෙට අට පිරිකරක් ගන්නටය. මේ සියල්ල අතර ලොකු හාමුදුරුවෝ බණ කිව්වේ පව් නොකරන්නටය.
බන්දු තමන් එලූ දැලෙන් මාලු ගලවන දැල් ඇහි අතරින් නිකිණි සඳ දුටුවේ ජීවිතේ ගැන එක්තරා කඩඉමක් මෙනෙහි කරමින්ය. එය සමනල කදු මුදුන මෙන් ශක්තිමත් වීමත්... පූජනීය වීමත් ඔහුගේ තීරණය ස්ථීර කිරීමට අත්තිවාරම් දමන්නක්ම විය.
......"ලොකු පුතේ එන්න පැන් වක්කරන්න... අත ගහන්න"
බන්දුගේ මව තම අසරණ බව වචන වල පවා එක්තැන්කොට මුදා හැරියා ය.
"ඉඳම්මේ ඥාති නන්හෝතු - සුඛිතා......................"
තවත් ඔහුට දෙනෙත් හැර අතීතය මෙනෙහි කල නොහැකි විය. නිකිණි සඳ එළිය කෙමෙන් බොඳවී ගොස් නිල්පාට තද කළුවරෙන් දෙනෙත් වසා ගත්තේ ය.
කිලිනොච්චි මායිමේ තවත් සෙබළක් ජීවිතය නිසා ජීවිතය පූජා කළා විය හැක. මින්නේරි වැව් දියේ සීතල බන්දුගේ පපුව තුරුළු කරගත්තේ වාරකන් සුළග අවසාන හුස්ම පොද රැගෙන යන ගමන් බව නොරහසකි.
නාගලකන්ද මහා විද්‍යාලායේ අවසන් සීනූව වැදුනු වහාම ටවුමට ගිය වත්සලා තම පළමු පඩියෙන් මෙවර උසස් පෙළ විභාගයෙන් සමත් හින්නිට තෑග්ගක්ද...ලොකුට හෙවත් තම එකම මල්ලී වන බන්දුට කමිසයක්ද රැගෙන හිරිපොද වැස්සේම පය ඉක්මන් කලේ නිකිණි මහ වැස්සට කලින් ගෙදර යෑමේ බලාපොරොත්තුවෙනි.හෙට නිවාඩු එන්න ඉන්න බන්දුට දොදොලක් හැදි ගාමින් සිටි බන්දුගේ මව වහලයට උඩින් කෑගසා පියඹා ගිය කණකොකා දෙස බලා සිටියේ වික්ෂිප්ත ලීලාවෙනි.
[ polonnaruwe podiwije ]

ඔන්න පලවෙනි කමෙන්ටුව. කියෙව්වේ නෑ තාම. පස්සේ ඇවිත් කියවන්නම්. ෆොලොවර් ගැජට් එක වැඩ නැත. අපිත් පොළොන්නරුවේ තමා හරිය. :P
ReplyDeleteස්තුති යි ඕං
Delete